Thursday, April 24, 2014

හිත නොකියන හිතක ගති



තරුණ කාලෙ ආදරය කරන්න කියල මේ හිත අපට කිව්ව. අපි එක එක්කෙනා පස්සෙ ගියා. ඒ රූපයක් නිසා අන්ධ ආශාවල් ඇති කරල රාගයෙන් අපව තෙත් කරල දුන්නෙ මේ හිතයි. ඒ සරාගී සිතෙන් අසම්මත කාම සේවනය කරන්න කිව්වෙ මේ හිතයි. විවාහ වෙලා මුල් කාලෙ බිරිඳ සැමියා විශ්වාසයෙන් වාසය කළත් බාහිර කෙනෙකුට ඇල්ම උපද්දල, පවුල් ජීවිතය කඩා දාල, වැරදි කාම සේවනය කරන්න මඟ හදල දුන්නෙ මේ හිතයි.

අපි හිතට එන එන දේ කතා කරල දවසකට කොච්චර නම් වචන පිට කරන්නට ඇද්ද? ඒ වචන වලින් කොච්චර අන් අය රවට්ටන්න ඇද්ද? අපි වචන කතා කරද්දි නොදැකපු දේ දැක්ක කියල, නොඇසූ දේ ඇසුව කියල, නොකළ දේ කළා කියල, නො ලැබුව දේ ලැබුව කියල බොරු කියන්න කියා දුන්නෙ මේ හිතයි. ඒ බොරුවෙන් තව කෙනෙක් රැුවටෙනව කියල හිත අපට පෙන්වල දුන්නෑ. ”පොඩි බොරුවක් කිව්වට කමක් නෑ නෙ” කියල, අපට ඇති වාසි පෙන්වල, අනුන්ගේ රැුවටීමේ දුක වසක් කළ මේ හිත, වෙන කෙනෙකුගේ බොරුවක් නිසා  අපි රැුවටෙද්දී ඇතිවන දුක අපට පෙන්නුවේ නෑ.



එක තැනක සිද්ධියක් වෙන තැනක ඉන්න පිරිසකට ගිහින් කියන්න කියල මේ හිත අපට කිව්ව. ඒ සිද්ධි වැරදි සහගත අන්දමින් කියල ඒ ඔස්සෙ ඒ ඒ අය වෛර බැඳගන්නව ගැටෙනව, අමනාප වෙනව කියල මේ හිත අපට පෙන්නුව ද? නෑ. අපේ සිද්ධියක් වෙන කෙනෙක් විසින් අදාළ කෙනාට කිව්වාම අපිට ඇතිවන දුක ගැන මේ හිත අපට කියා දුන්නෙ නෑ.

අපට ගැටීමක් ආවාම කේන්තියෙන් වචන හුවමාරු කරගැනීමට පරුෂ වචන කියන්න කියල මේ හිත අපට ඉගැන්නුව. ඒ පහත් පරුෂ වචන අපට ඇහෙනකොට අපේ හිතේ ඇතිවන තත්වය මේ හිත අපට පෙන්නුව ද? නෑ.

දිනෙන් දිනේ ජීවිතේ ගෙවිල යද්දි පිරිසක් එක්ක ඔහේ කතා කර කර හිටපු වෙලාවල් මතකයි නේද? රටේ ලෝකෙ ගැන, එක එක අය ගැන කතා කළ හිස් වචන අපේ ජීවිතේට කිසි යහපතක් උපද්දල දුන්නෙ නැහැ නේද? අන්න ඒ ඇත්ත මේ හිත අපට පෙන්නුවෙ නෑ. අපට ජීවිතයට ප‍්‍රයෝජනවත් දෙයක් ඇති කරගන්න තිබ්බ කායල ඒ හිස් කතා නිසා නැති වෙලා යන ආකාරය මේ හිත අපට පෙන්නුවෙ නෑ.


තමන්ට වාසියක් ඇතිවන ආකාරයෙන් ජීවිතය සකස්කර ගන්නට එක එක දේවල් කරන්න කියල මේ හිත අපට කියා දෙනව. අපේ ජීවන පැවැත්ම අපිරිසිදු වුණත් පිරිසිදු වුණත් වාසියට ම වැඩ කරන්නයි මේ හිත අපට කියන්නෙ. අපේ පැවැත්මේ පිරිසිදු අපිරිසිදුතාව ගැන, අපිරිසිදු ජීවිතයෙන් ඇති අයහපත් විපාක ගැන පෙන්වල දෙන්න කිසි දාක මේ හිත ඉදිරිපත් වුණේ නෑ. ”කාලෙ හැටියටයි ජීවත්වෙන්න  ඕන. ඉන්න ටිකේ සැපට ඉඳල මැරිල යන එක නෙ යහපත් පැවැත්ම කියන්නෙ” ඔන්න හිත අපට කියා දුන්න දේවල්. ඉන්න ටිකේ කුසල් කරන්න ජීවත පැවැත්මක් හදා ගන්න  ඕනැයි කියල කවදාවත් මේ හිත අපට පෙන්නුවෙ නෑ.

අපට වඩා ගොඩක් සැප සම්පත් ඇතිව, බවබෝග ඇතිව, ආයුෂ ඇතිව, වර්ණය ඇතිව, කායික මානසික සැප ඇතිව ජීවත්වන අය මේ ලෝකයේ ඉන්නව. අනුන් සතු අන්න ඒ දේවලට ආස කරන්න කියලයි හිත අපට කියා දෙන්නෙ. අන් අයගෙ සැප සම්පත් දැකල ඒවට හූල්ල හූල්ල ඉන්න එක අපට කියා දුනනෙත් මේ හිත තමයි. නොලැබුණු දේවල් සහ ලබා ගන්නට දුෂ්කර දේටම අස කර කර ඉන්න මේ හිත අපට  ලැබෙන දේකින් සතුටු වෙන්න කියා දුන්නෙ නෑ නේද?

අපි දිනකට කොච්චර නම් තරහ යන ගතියෙන් ඉන්නවද? තරහාව පෝෂණය කරන්නට අරමුණක් හොය හොය ඉන්න මේ හිත ඒ තරහ නිසා ම අපිව දුකට ඇදල දානව. සිත අපට තරහ උපද්දල දුන් විට අන් අයගේ සමගිය, සමාදානය, මෛත‍්‍රිය, කරුණාව ගැන කිසි සැලකිල්ලක් නෑ. හිතට තරහක් ඉපදුනාම අපේ ම කයට ඇති කරල දෙන පීඩාව විඳ දරා ගන්න  ඕනත් අපි ම යි. ඒත් ඒ පීඩාව වහල තරහ තුළ ඇති ආශ්වාදයෙන් අපිව මුළා කරල දාන්නට තරම් මේ හිත හීනයි.

අපි උපන් දා සිට එක එක මතවාද දෘෂ්ඨි වලට පටලන්න මේ හිතට ඇත්තේ පුදුම හැකියාවක්. සමාජ, දේශපාලන, ආර්ථික, ආගමික මතයකට අපි අහු කරන්නත් ඒ මතය තුළ අපව ජීවත් කරවල වටිනා කාලය මරා දමන්නටත් මේ හිතමයි මුල් වන්නෙ. හිත අපට කියන්නේ ම ඒ බාහිර මතවාද නිවැරදි බවයි. අන් අය කියන්නෙ ඇත්ත ද බොරුද කියන එක විමසන්න මේ හිත ලෑස්ති නෑ. හිතට ආපු මතයේ ම එල්ලිල තමනුත් අනුනුත් පීඩාවට ලක් වෙනකොට ඒක අපේ ජයග‍්‍රහණයක් කියලයි මේ හිත අපට පෙන්නුවෙ.

මේ හිත අපිව මුළා කරල කියල කව්රුත් අපට කියා දුන්න ද? අම්ම තාත්තවත් ගුරුවරුන්වත් මේ හිතේ ඇත්ත කතාව කිව්වෙ නෑ. කියන්න ඒ අය දන්නෙත් නෑ. උපන්දා සිට හිතේ මුළාවට වශී වෙලා ඉන්න අපට කල්ප ගණනකට පසුව ඒ මුළාවේ ඇත්ත කතාව අහන්න ලැබෙන අවස්ථාවක් එනව. පිනත් එක්ක අපේ ජීවිතය එක් වෙලයි ඒ දුර්ලභ අවස්ථාව උදා වෙන්නෙ. හිත පරිපූර්ණව අවබෝධ කරගෙන ඒ ගැන ලෝකයට දේශනා කරන භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් විසිනුයි අපේ හිතේ ඇත්ත කතාව තුන් ලෝකයට ම කියා දෙන්නෙ. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ජීවිතයක දුක්ඛිත කතාවත් ඉන් නිදහස් වන මඟත් දේශනා කරනව. අන්න ඒ ධර්මය අහන නුවණැත්තන්ට පේනව හිතේ මුළාවට අහුවෙලා තම තමන් ජීවත් වෙච්ච ආකාරය. ඒ ජීවත් වීමට නම් ඔවුන් කැමති වෙන්නෑ. ඒ ජීවිතයෙන් මිදීම පිණිසයි ඔවුන් කැමති වෙන්නෙ. මුළා වූ ජීවිතයෙන් මිදෙන්නට ඇති මාර්ගය  කෙරෙහි විස්වාසයෙන් යුතුව, ඒ මාර්ගය දේශනා කළ ශාස්තෘන් වහන්සේගේ අවබෝධය කෙරෙහි විස්වාසය ඇතිව, ඒ මාර්ගයේ හැසිරෙන පිරිස කෙරෙහි  පැහැදීමෙන් යුතුව නුවණැත්තන් ශ‍්‍රද්ධාවට පැමිණෙනව. ඒ වගේ ම සීලයට පැමිණෙනව, සමාධියට පැමිණෙනව, ප‍්‍රඥව උපද්දා ගන්නව.

0 comments:

Post a Comment